87 views 0 secs 0 comments

“රණවිරු සෙවණ”ට ගිය ආරක්ෂක නියෝජ්‍ය ඇමති…

In Local News
May 19, 2025

රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (19) පෙරවරුවේ එක් විය.
නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන් වෙත ගොස් ඔවුන්ගේ තොරතුරු විමසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.
තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම ශරීරාංග අහිමි වී සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු ව ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා යළිත් එවැනි තත්ත්වයක් මෙරට ඇති නොවීමට රජය කටයුතු කරන බවද අවධාරණය කළේය. ආබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් රජය අඛණ්ඩව කැප වන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද කතාබහක නිරත වෙමින් සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳවද සොයා බැලීය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී.බී. එදිරිසිංහ යන මහත්වරු සහ “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.එම්. කුමාරසිංහ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.