102 views 0 secs 0 comments

පොළොන්නරුවේ උණුදිය උල්පත් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

In Local News
June 24, 2025

සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත.

අදාළ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි.

මෙතෙක් මෙම ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම, සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අඩුව නිසා, එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් උනන්දුව අඩුවීමේ හේතුවක් වී තිබිණි.

මෙම සාකච්ඡාවේදී, නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි සංචාරක සහ තාක්ෂණික විභවතාව සහ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය තුළ, උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශයේ ගහනය වැඩි කිරීම, දූපත අලංකරණය සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමට පහසු වන ආකාරයට පාලමක් ඉදිකිරීම යන කරුණු සාකච්ඡා කිරීමට ලක් විය.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්. වසන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය භූගත ජලවිද්‍යාඥ ධර්ම ගුණවර්ධන, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තවත් ආයතන කිහිපයක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.