
අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එම සංශෝධන සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතර, පසුගිය කැබිනට් සංශෝධනයත් සමඟ මෙම විෂය පථයන් යළි සකස් කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය දැන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතට පවරා ඇත.
තවද, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සීමාසහිත සංස්ථාව දැන් වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට, සහ බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සැලසිනේ මීඩියා සොලියුෂන්ස් (පුද්ගලික) ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ඇත.
පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය දැන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට, සහ කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට පවරා ඇත.
මේ අතර, බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම දැන් ලංකා විදුලි පෞද්ගලික සමාගම (සීමාසහිත) ලෙස සංවිධානය කර ඇති අතර, විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4 ද නව ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.
කැබිනට් සංශෝධනය සමඟ හඳුන්වාදුන් නව අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම ගැසට් මඟින් නිලවශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.