178 views 0 secs 0 comments

වැඩබලන ජනපතිගෙන් කඩිනම් සහන වැඩපිළිවෙළකට යෝජනා

In Local News
July 16, 2022

දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින මහජනතාවගේ බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කඩිනම් සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අද (16) පෙරවරුවේ මැති ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව ලබන අගෝස්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත සහන අයවැයෙන් මෙම වැඩසටහන සඳහා අමතර මුදල් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසත් එම ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.
ඉන්ධන සහ පොහොර නිත්‍යානුකූලව සහ කඩිනමින් ලබාදීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
එපමණක් නොව ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීමටද සැලසුම් සකස් කරන ලදී.
මේ අතර සාමකාමී විරෝධතාවයේ නායකයින් විසින් භාරදී ඇති සැලැස්මේ පෙන්වා දෙන මහජන සභාව හොඳ මුලපිරීමක් ලෙස පිළිගත හැකි බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවේදී පැවසීය.
දූෂණයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ක්‍රියාකාරීන් දැනුවත් කරන ලෙසද වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.