64 views 0 secs 0 comments

පළාත් පාලන ඡන්දය සඳහා ඡන්ද පත්‍රිකා ලක්ෂ 70 ක් මුද්‍රණය අවසන්…

In Local News
April 07, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ලක්ෂ 70 ක් මේ වනවිට මුද්‍රණය කර අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ දිස්ත්‍රික් 12 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සම්පූර්ණ කර ඇති අතර, එයින් දිස්ත්‍රික් 9 කට අදාළ ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දී ඇති බවයි.

තවත් දිස්ත්‍රික් 13 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමටනියමිතව ඇතැයි ද රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සඳහන් කළේ ය.

එමෙන්ම තැපැල් ඡන්දය සඳහා මේ වනවිට ලක්ෂ 7 ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කර ඇති අතර, ඒවාද මැතිවරණ කොමිසමට ලබාදීමට නියමිතය.

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් පැකට්ටු අද (07) තැපෑලට භාරදෙන අතර වත්මන් අධිකරණ ක්‍රියාමාර්ග නිසා තවත් ආයතන 225 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා භාරදීම ප්‍රමාද වන
බවත් මැතිවරණ කොමිසම පැවසීය.

පළාත් පාලන ඡන්දය සඳහා තැපැල් ඡන්දය ලබන අප්‍රේල් 22, 23 සහ 24 යන දිනයන්හිදී පැවැත්වෙන අතර, එම දිනවල ඡන්දය ප්‍රකාශ කළ නොහැකි ඡන්ද දායකයින්ට අප්‍රේල් 28 සහ 29 යන දිනයන්හිදී ඡන්දය ලබාදිය හැකිය.

මෙම කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ද 05 වනදා සිට අවලංගු කර ඇති බවද සදහන් වේ.