63 views 0 secs 0 comments

පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වෙයි..

In Local News
April 10, 2025

ඇමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මත ඇතිවිය හැකි බලපෑම් හා ඒ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් මෙය කැඳවනු ලැබීය.

අදාළ තීරු බදු තත්ත්වය සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද, මෙතෙක් රජය ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිතුමා පක්ෂ නායකයන් දැනුවත් කල අතර විපක්ෂ පාර්ශවයන් ඉදිරිපත් කළ යෝජනාද විශේෂයෙන් සලකා බැලිණි.

ඇමෙරිකානු රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා සකස් කිරීම සහ අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳ කරුණුද පුළුල්ව සාකච්ඡා කෙරිණි. කමිටු යෝජනා සහ පක්ෂ නායකයන්ගේ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුර සාකච්ඡා සඳහා තීරණය කෙරිණි.

මෙම හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, එස්. රාසමාණික්කම්, රවී කරුණානායක, ඩී.වී. චානක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, රිෂාඩ් බදුර්දීන්, දිලිත් ජයවීර, ජීවන් තොණ්ඩමන්, දයාසිරි ජයසේකර, ඒ. අර්චුනා සහ ස්වාධීන මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, කාවින්ද ජයවර්ධන, එස්.එම්. මරික්කාර්, කාදර් මස්තාන් යන මහත්වරුන් ද සහභාගී විය.