64 views 0 secs 0 comments

වගා හානි පිළිබඳ දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක්…

In Local News
June 03, 2025

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය මත වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් වැනි වගාවන්ට සිදුවන හානිය සඳහා, ගොවීන්ට රක්‍ෂණ ආවරණයකින් තොරවම රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කර තිබේ. එමගින් අක්කර 5ක් දක්වා වගා සඳහා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන අතර, එක් හෙක්ටයාරයකට උපරිම රු. 100,000ක් දක්වා වන්දි ගෙවීම සිදු කෙරේ.

දැනට මාතර දිස්ත්‍රික්කය තුළ ගොවීන් 100 කට අයත් අක්කර 130 ක වගා භූමි හානිවී තිබෙන බව වාර්තා වන අතර, ඉදිරි දිනවලදී තවත් වගා හානි පිළිබඳව නිරන්තර අධීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර ජලයෙන් බලපෑමට ලක්වූ වගාවන් පිළිබඳව ජලය ක්‍රමයෙන් බැස යන බව දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇත.

වගා හානි පිළිබඳව දැනුම්දීම සඳහා ගොවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 ක්ෂණික දුරකථන අංකය අමතා වාර්තා කිරීමේ හැකියාව ලබාදී තිබේ.