2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය විසින් අද (15) දිනය පුරාවට දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.
2014 වර්ෂයේ ලෝක තරුණ නිපුණතා දිනය සම්බන්ධයෙන් යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ද ශ්‍රී ලංකාව විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ සිට “ලෝක තරුණ නිපුණතා දිනයක්” ලෝකයටම නම් කරන ලද අතර එය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ලද විශාල ජයග්‍රහණයකි.
ඒ අනුව මෙවර “කෘත්‍රිම බුද්ධිමය සහ ඩිජිටල්කරණය තුළින් තාරුණ්‍යය සවිබල ගැන්වීම” යන තේමාව මුල් කර ගනිමින් මාතර, කුරුණෑගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල සැමරුම් උත්සව රැසක් සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද පස්වරුවේ ඔරුගොඩවත්ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, අතිරේක ලේකම් (පාලන) සමන්ති මිහිඳුකුල, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක, අතිරේක ලේකම් (නිපුණතා ආංශික සංවර්ධන) හිමාලි අතාවුදගේ, අතිරේක ලේකම් (කාර්‍ය සම්පාදන) ජී.සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) ඩබ්.ඒ.ආර්.බී.වීරසේකර යන මහත්ම මහත්මීන් පිරිසක්ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ අනෙකුත් වෘත්තීය අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක්ද, අධ්‍යාපනය ආයතන වල ඉගෙනුම ලබන සිසු දරුදැරියන් රැසක් ද එක්ව සිටියහ.