21 views 0 secs 0 comments

වසර 09කට පසු පළාත් පාලන සතිය නැවත – “පුනරුදයේ පුරවරය” යටතේ සැප්තැම්බර් 15 සිට 21 දක්වා

In Local News
September 08, 2025

2025 වසරේ පළාත් පාලන සතිය සැප්තැම්බර් 15 සිට 21 දක්වා “පුනරුදයේ පුරවරය” යන තේමාව යටතේ පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා ප්‍රකාශ කළේය.

2016දී අවසන් වරට පවත්වා තිබූ පළාත් පාලන සතිය, නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු අවස්ථාව බවද එහිදී සදහන් කරන ලදි.

“පුනරුදයේ පුරවර” සතිය තුළ ජනතා අවශ්‍යතා සපිරීම, ජීවත්වෙන පරිසරය සුරැකීම සහ අනාගත දැක්මක් ඇති නගරයක් බිහිකිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මෙහෙයවනු ඇත.

එම සතියේ දිනයන් සඳහා විශේෂ වැඩසටහන් නම්කර ඇති අතර,

  • සැප්තැම්බර් 15 – ජංගම සේවා දිනය,
  • 16 – පරිසර සහ රුක් රෝපණ දිනය,
  • 17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය,
  • 18 – ආදායම් ප්‍රවර්ධන දිනය,
  • 19 – සාහිත්‍ය, අධ්‍යාපන හා පුස්තකාල දිනය,
  • 20 – මහජන උපයෝගීතා දිනය,
  • 21 – සහතික පත්‍ර ප්‍රදානය හා සමාප්තිය යැයි සඳහන් කෙරේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පෙන්වා දුන්නේ, සතිය පුරා ඇති වැඩසටහන් රජයේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ආවරණය කරන බවත්, විශේෂයෙන් කැලි කසල බැහැර කිරීම, ආයතනගත ගැටලු විසඳීම සහ ඩිජිටල්කරණය පිළිබඳ වැඩපිළිවෙලට අදාළ වැඩසටහන් සිදු කරන බවත්ය.

මෙම සතියේ අවසාන ඉලක්කය වන්නේ ජනතාවගේ දුප්පත්කම අඩු කර ශක්තිමත් ආර්ථිකයක් සහිත සතුටින් ජීවත්විය හැකි ප්‍රජාවක් බිහිකිරීම බවද ඔහු අවධාරණය කළේය.