1 views 0 secs 0 comments

පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ…

In Local News
October 15, 2025

පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසා ඇත.

මෙම තීරණය, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය ඔක්තෝබර් 10 වැනිදා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමේදී ගනු ලැබූ බව සඳහන් වේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය ලබා දී ඇත.

ඔක්තෝබර් 21 (අඟහරුවාදා):
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත අතර, ඉන්පසු පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමට ගනු ලැබේ.
ප.ව. 5.00 සිට 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

ඔක්තෝබර් 22 (බදාදා):
පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සහ සුරා බදු ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනේ.
ඊළඟට ප.ව. 4.30 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

ඔක්තෝබර් 23 (බ්‍රහස්පතින්දා):
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා “මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන” පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් 24 (සිකුරාදා):
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට වෙන්කර ඇති අතර, එමගින් ලොහාන් රත්වත්තේ, හීන්මහත්මයා ලියනගේ, ඩික්සන් ජේ. පෙරේරා, ආචාර්ය මර්වින් ඩී. ද සිල්වා, වයි.ජී. පද්මසිරි, ආර්.එම්.ආර්. චූල බණ්ඩාර සහ මාණිකාවාසගර් කනගසභාපති එලවෙන්තන් යන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කෙරේ.
ප.ව. 5.00 සිට 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදයද එදින පැවැත්වීමට නියමිතය.