1 views 1 sec 0 comments

කීරි සම්බාට ආදේශක ලෙස පොන්නි සම්බා (GR 11) සහල් ආනයනයට අවසර

In Local News
October 19, 2025

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී.

ඒ අනුව, කීරි සම්බාට සමාන (GR 11) පොන්නි සම්බා සහල් පමණක් ආනයනයට අවසර ලැබෙන අතර, එක් ආනයනකරුවෙකුට උපරිම සහල් මෙට්‍රික් ටොන් 52ක් ආනයනය කළ හැකිය.

මෙම සහල් තොගය නොවැම්බර් 15 හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතුයැයි ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ආහාර ප්‍රතිපත්ති හා ආහාර සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගත් බවත්, ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමටත්, කැබිනට් අනුමැතිය ලබා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ඇත.