
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ ද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවයි.
ඒ පිළිබඳව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි අවධානයක් යොමුකර ඇති බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
නමුත් වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් සතියක පමණ කාලයක් පාසල් වසා දමා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතු හෙයින් වව්නියාව නගරයේ පාසල් හෙට දිනයේ විවෘත නොකිරීමට තීරණය කර ඇති බව වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා……
“පාසල් නිවාඩුවට කලින් අපි සෞඛ්‍ය නිර්දේශ අපි ලබාදුන්නා පාසල් විවෘත කිරීම සඳහා. ඒ සෞඛ්‍ය නිර්දේශ සහ ඒවා පොඩි සංශෝධනයක් කරලා නැවත වරක් අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. විදුහල්පති තුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා ඇතුළු ගුරුභවතුන් හා දෙමාපියන්, ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍යතුමා සහ මහජන සෞඛ්‍ය තුමාගෙන් යුතු කමිටුවකින් මෙම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපඳිනවා ද යන්න අධ්‍යයනය කරමින් එම පාසල් විවෘත කරන්න කියලා තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. බස්නාහිර පළාතේ අපි අවසර දීලා නෑ. සාමාන්‍ය පෙළ සඳහා සිසුන්ගේ පන්ති විවෘත කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. කොහොම වුණත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අපිට පාසල් අරිනකල් අවසර ලබා දිය නොහැකියි. පාසල් විවෘත කර ඇති ප්‍රදේශවල උපකාරක පන්ති ආරම්භ කිරීම ගැන ලබන සතිය වන විට මාර්ගෝපදේශ ලබාදිය හැකියි.”