185 views 0 secs 0 comments

මේ වන තෙක් කොවිඩ් රීති කඩකල 3,900 අත්අඩංගුවට…..

In Local News
April 28, 2021

ඊයේ දිනය තුළ දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පසුගිය ඔක්තෝබර් 30 සිට මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900කි.

මුහුණු ආවරණ නොපැළඳ හෝ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරදකරුවෙකු වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දුනි.

එමෙන්ම කොවිඩ් -19 අවදානම හේතුවෙන් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ජනතාව එම ප්‍රදේශය තුළම රැඳී සිටිය යුතු බවත්, එම ප්‍රදේශ වලට ඇතුල් වීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන සෞඛ්‍ය බලධාරීන්ට හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් වන අතර, පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශය තුළට පැමිණීමට ද හැකියාවක් නැති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.