105 views 0 secs 0 comments

නව ජනපති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට IMF සූදානම්…

In Uncategorized
September 24, 2024

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට හා විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව සඳහා වූ ඓMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් සමග ඇතිකරගත් එකඟතාව, මෙරට නිල ණයහිමියන්ගේ කමිටුවේ සහතික කිරීමට යටත්ව පිළිගන්නා බවත් මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

නිල ණය හිමියන්ගේ කමිටුව එහිදී සලකා බලනු ඇත්තේ එම එකඟතාව සංසන්දනාත්මකව ණය ප්‍රතිකර්මයක්ද යන්න පිළිබඳවයි.

එමෙන්ම මෙම එකඟතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කැපීපෙනෙන ප්‍රගතියක් පිළිබිඹු කරන බවද මුල්‍ය අරමුදලේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය මුදලේ තුන්වැනි ඇගයීමේ කාල රාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග ප්‍රායෝගිකව හැකි පළමු අවස්ථාවේදීම සාකච්ඡා කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක තුන්වැනි වාරිකය හිමිවූයේ පසුගිය ජුනි මාසයේදීය.