73 views 0 secs 0 comments

නිල්ගල වනය හෙට සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ…

In Local News
June 01, 2025

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර ඇති, හෙක්ටයාර 40,683ක විශාලත්වයෙන් යුත් නිල්ගල වනය, හෙට (02) දිනයේ සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

මැදගම, බිබිල, නිල්ගල සහ ඉඟිනියාගල යන වන සංරක්ෂණ බීට් හතරකින් සමන්විත මෙම වනාන්තරයේ ප්‍රධානම කොටස බිබිල අඩවිය වේ.

මෙම රක්ෂිතය නිවේදනය කිරීමේ සමාරම්භක උත්සවය හෙට පෙරවරුවේ බිබිල රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, එය පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උත්සවය සංවිධානය කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මෙම කටයුතු, ජූනි 5 වනදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති ජාතික පරිසර සතිය යටතේ සිදුවන අතර, එහි සිව්වැනි දිනය වන හෙට දිනය “ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය” ලෙස නම් කර ඇත.