ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර, එහි නගරාධිපති ලෙස හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා තේරී පත්වී ඇත.
අද (20) පැවති මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, නගරාධිපති තෝරා ගැනීම සඳහා පවත්වන ඡන්දය රහස්වක් ලෙසද, විවෘතවක් ලෙසද පැවැත්වීමට ඡන්ද විමසීමක් සිදු කරන ලදී.
එහිදී 19 දෙනෙකු රහස් ඡන්දයට සහය දක්වමින්, 17 දෙනෙකු විවෘත ඡන්දයට සහය දැක්වූහ. බහුතර කැමැත්ත මත රහස් ඡන්දයට තීරණය කළ අවස්ථාවේදී සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.
සමගි ජනබලවේගයේ සාමාජිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටවීමත් සමඟ පොලීසිය කැඳවා තත්ත්වය පාලනය කරන ලදී. මෙම හේතුවෙන් රැස්වීම මිනිත්තු 30ක කාලයකට කල් දැමුණි.
අවසන් විට පැවති රහස් ඡන්දයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කළ සුනිල් මහතා ඡන්ද 19ක් ලබා නගරාධිපති ධුරයට තේරී පත්වූ අතර, නියෝජ්‍ය නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්ධු මහතා පත්වී ඇත.
