ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි.
මෙරට සංචාරයක නිරත මහ කොමසාරිස්වරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
මෙරට සිදුවෙමින් පවතින නව දේශපාලන සහ සමාජමය පරිවර්තනය පිළිබඳව මහ කොමසාරිස්වරයා ඉහලින්ම අගය කළ අතර, උතුරේ සහ දකුණේ ජනතාව ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටින බවද සඳහන් කළේය.
තම සංචාරය තුළින් මෙරට නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවූ බවද ඔහු පෙන්වා දුනේය. එසේම අද රටේ ජනතාව නව බලාපොරොත්තු සහිතව යහපත් අනාගතයක් අපේක්ෂා කරන බවද ඔහුගේ විශ්වාසය බවද සඳහන් කළේය.
අතුරුදන් වූවන් පිළිබඳවද විශේෂ අවධානය යොමුකරමින්, ඔවුන්ගේ පවුල්වල දැක්වෙන බලාපොරොත්තු ඉටු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අපේක්ෂා කරන බවද පැවසිය.
දේශපාලන සංස්කෘතිය නිසා ජනතා අයිතීන් සුරැකීමේ ආයතන අපොහොසත් වූ බැවින් ඒවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී තෘප්තිමත් ලෙස සාකච්ඡා කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අතුරුදන් වූවන් පිළිබඳ අත්දැකීම් ඇති දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන්ට එය ගැඹුරු අවබෝධයකින් පැහැදිලි බවත්, ජාතික සමගිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳව තම රජය කැපවී සිටින බවත්ය.
ආර්ථික ස්ථාවරතාවය ස්ථාපිත කිරීම මේ වන විට රජයේ ප්‍රමුඛ අරමුණ බවද ජනාධිපතිවරයා පෙන්වා දුනි. එමඟින් පවතින අභියෝග හැසිරවීමට ජාත්‍යන්තර සහය අවශ්‍ය වන බවද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකය හමුවට ගෙන ඒමටත්, ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපය ඉහළ දැමීමටත් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතනවල සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.