පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.
එවැනි සාකච්ඡාවක් මෙම අධිකාරිය සහ සංගමය අතර සිදු වී නොමැති බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. උපරිම මිලක් තීරණය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින්, ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවා අදහස් ලබාගෙන ඇති අතර, එම සාකච්ඡාවේදී මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය ලබාදෙන්නේ සභාවය.
එම සභාවේ තීරණය අනුව අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලබන අතර, සංගමය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ මිල ගණන් හා අධිකාරිය සමඟ එකඟතාවක් තිබූ බව සඳහන් කිරීම වැරදි බව ද අධිකාරිය පැවසියි.
තවද, කිසිඳු තොරතුරක් හෝ මිල ගණන් සඳහන් නොවූ ලුණු වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සාහයන් පවතින අතර, එවැනි භාණ්ඩ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, ව්‍යාපාරිකයන් භාණ්ඩ ලබාගත් ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහිත බිල්පත් තබාගත යුතු අතර, එවැනි පතක් නොමැතිව භාණ්ඩ තබාගෙන සිටින පිරිස්වලටද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කර ඇත.