23 views 0 secs 0 comments

කොළඹදී ආරම්භ වුන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුව..

In Local News
October 13, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත 78වන කලාපීය සමුළුව අද (13) කොළඹදී ආරම්භ වූ අතර එය 15 වැනිදා දක්වා පැවත්වෙනු ඇත.

මෙම වාරයේ සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් ලබා දෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, සහ අග්නිදිග ආසියා කලාපයේ ආයතන භාර නිලධාරී කැතරිනා බොහ්මේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙහි සහභාගී වෙයි.

අදාළ සමුළුවට රටවල් 8ක සෞඛ්‍ය අමාත්‍යවරු, රටවල් 2ක තානාපතිවරු, සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් සහභාගී වන අතර, ඉදිරි වසර සඳහා කලාපීය සෞඛ්‍ය න්‍යාය පත්‍රය මෙහිදී සකස් කිරීමට නියමිතය.

මෙවර සමුළුවේ ප්‍රමුඛ සාකච්ඡා කරුණු අතරට

  • ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මඟින් සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම,
  • දුම්කොළවලට එරෙහිව සටන් කිරීම,
  • කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම, සහ
  • ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධය වඩාත් වේගවත් කිරීම යන කරුණු ඇතුළත් වේ.

අමතරව, මෙම සමුළුවේදී පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, සහ නව යෝජනා සම්මත කර ගැනීම සිදු කෙරේ.

සමුළුවේ අරමුණ වනුයේ සියලු ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සෞඛ්‍ය ආශ්‍රිත තිරසාර සංවර්ධන ඉලක්ක නැවත යථා තත්ත්වයට පත් කිරීම, සහ කලාපය තුළ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත සක්‍රීය කිරීම යන්නකි.