1 views 0 secs 0 comments

නැවත සක්‍රීය වුණු පිලිපීනයේ “ටාල් “…

In World News
October 26, 2025

පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වනවිට නැවත සක්‍රිය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තු 10ක පමණ කාලයකදී පිපිරීම් දෙකක් සිදු වී ඇති බවත්, ඒ සමඟ කිලෝමීටර් 2ක පමණ උසට අළු සහ වාෂ්ප අහසට විසිවී ඇති බවත්ය.

පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ, මේ වනවිට ටාල් ගිනි කන්ද අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ පවතින බවත්, එහෙත් අළු විමෝචනය හෝ කෙටි කාලීන පිපිරීම් තවදුරටත් ඇතිවිය හැකි බවත්ය.

එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අළු හා වාෂ්ප පිපිරීම් සමඟ විෂ වායු විමෝචනයන් ද සිදුවී ඇති බවත්, එම හේතුවෙන් ප්‍රධාන ආවාටය අසල ප්‍රදේශවලට ප්‍රවේශ වීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇති බවත්ය.

ටාල් ගිනි කන්ද පිලිපීනයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු අතර එකක් වන අතර, අවසන් වරට 2020 ජනවාරි මාසයේදී ප්‍රධාන පිපිරීමක් සිදුවිය.

මෙම ගිනි කන්ද පිපිරීම් මත සෑදුනු කැල්ඩෙරා එකක පිහිටා ඇති අතර, එය විශේෂ භූ විද්‍යාත්මක හා දර්ශනීය ස්වභාවයක් ඇති විලක් ආකාරයට පවතී.

ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ, ගිනි කන්දේ ක්‍රියාකාරිත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවත්, ගිනි කඳු දූපත වටා අමතර අධීක්ෂණ උපකරණ යොදා ඇති බවත්ය.