ධීවර ප්‍රජාවට සහනයක් සැලසීමට ගුණාත්මක “සිපෙට්කෝ” ලිහිසි තෙල් ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් අද (27) සිට ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය, ඇමරිකානු තත්ත්ව සහතික ලත් ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිලදී ගත හැකි වන අතර, මුල් අදියර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ විය. ඉදිරියේදී රට පුරා ඇති ධීවර වරාය 25ක් මගින් බහුදින ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් පහසු මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙලේ ආරම්භක උත්සවය දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හා සාගර ජලජ සම්පත් සහ ධීවර කටයුතු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඒ අවස්ථාවේදී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ රජයේ ආයතන හරහා ලැබෙන ලාභය ජනතාවට සහන ලෙස යොදා ගැනීම සහ ධීවර ප්‍රජාවට ලබාදෙන ඉන්ධන සහනාධාරය නිශ්චිතවම ධීවරයින්ට ලැබෙන පරිදි වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. එසේම අයතා ගණුදෙනු වලක්වා ගැනීමටද පියවර ගන්නා බව සඳහන් කළාය.
ඉහළ ගුණාත්මකභාවයක් සහිත සිපෙට්කෝ ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ත්ව සහතික ලත් බවද, එම නිෂ්පාදන ධීවරයින් හා අනෙකුත් වාහන භාවිතාකරන්නන්ට විශ්වාසයෙන් භාවිතා කළ හැකි බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි සහ ඉහළ නිලධාරීන් ගණනාවක්ද සහභාගී වූහ.
