2 views 0 secs 0 comments

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කිරීමට සැලසුම්…

In Local News
January 13, 2026

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමඟ අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, 2027 වසරේදී ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවති සුහදත්වය මෙන්ම දශක හතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගොඩනැගුණු දිගුකාලීන මිත්‍රත්වය සහ කාලානුරූපී සහයෝගීතාවය පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම නැවත තහවුරු කළ බව සඳහන් වේ.

වෙළඳාම, ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සඳහන් කර ඇත.