
පුද්ගලයන් හැට දෙදෙනෙකු සමගින් ජකර්තා අගනුවරින් ගමන් ආරම්භ කල
ශ්‍රී විජය එයාර් ජෙට් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර එහි සෝදිසි මෙහෙයුම් සඳහා නෞකා 10ක් යොදවා ඇති බවද සඳහන් වේ.
යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර එය රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇති අතර, යානය මුහුදට කඩාවැටී ඇති බවට පැවති නිගමන ඔස්සේ ඉන්දුනීසියානු බලධාරීන් මෙහෙයුම් ආරම්භ කළේය. මේ වන විට යානය කඩාවැටුණු බවට විශ්වාස කෙරෙන ප්‍රදේශය හඳුනාගෙන තිබේ.
මෙසේ අනතුරට පත් ගුවන් යානයෙන් ආපදා සංඥා නිකුත් නොවූ බව ඉන්දුනීසියානු බලධාරීන් පවසයි. යානයේ සුන්බුන් හා එහි සිටී මගීන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. මෙම බෝයිං 737 වර්ගයේ යානය වසර 26ක් පැරණි වුවද යානය පියාසර කිරීමට සුදුසු තත්ත්වයේ පැවති බවත් අධික වර්ෂාව හේතුවෙන් මෙම පියාසැරිය මිනිත්තු 30කින් පමණ ප්‍රමාද වූ බවත් ශ්‍රී විජය ගුවන් සේවයේ නිලධාරියෙක් පවසා තිබුණි.
ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් මාධ්‍යයට පවසා තිබුණේ යානය තමන්ට විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත් අනතුරට ලක්වනු දුටු බවත් ය.