
අධික වැසි සහිත කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට ගොස් ඇත. රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අද (නොවැම්බර් 09) උදෑසන සිදුවූ නායයාමක් නිසාවෙන් විපතට පත් පවුලක පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළ බව යුද හමුදාව පැවසීය. එම පවුලේ මව, පියා සහ දියණියත්, තවත් ඥාති දියණියකුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ගෙන යන ලදී.
රඹුක්කන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය අතර, නාරම්මල වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක මිය ගොස් ඇත.බරපතල තත්ත්වයේ සිටි 36 හැවිරිදි මව, අට හැවිරිදි දියණිය සහ ඥාති දියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවට රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. 46 හැවිරිදි පියා මේ වන විට කෑගල්ල රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබයි.