48 views 0 secs 0 comments

සංචාරක වීසා මත ව්‍යාපාරික කටයුතු කළ විදේශිකයින්ට නීතිමය පියවර – අමාත්‍ය නලින්ද ජයතිස්ස

In Local News
August 05, 2025

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බවත්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන විදේශිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය ‍ආරුගම්බේ, වැලිගම සහ උණවටුන ප්‍රදේශවලදී මෙවැනි විදේශිකයින් ව්‍යාපාරිකව ක්‍රියාත්මක වන බවට ලැබුණු පැමිණිලිවලට අනුව සිදු කළ පරික්ෂණවලින් පසුව පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ගේ වීසා දික් කිරීමද නතර කර ඇති බවත්ය.

පොලිස් සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගම මහතා සඳහන් කළේ, උණවටුන ප්‍රදේශයේ ව්‍යාපාර පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට එරෙහිවද නීතිමය පියවර ගෙන ඇති බවය. එමෙන්ම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් තම නමින් වෙනත් පුද්ගලයින්ට අනීතිකව ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට ඉඩ නොදිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් බවද, ඊයේ ආරුගම්බේ ප්‍රදේශයට පැමිණි රටවල් 20ක සංචාරකයන්ගෙන් 20% ක් පමණ ඊශ්‍රායල ජාතිකයින් වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට විශේෂ පියවරක් ගෙන තිබේදැයි විමසූ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්, පොලිසිය, විශේෂ කාර්යය බලකාය, යුද හමුදාව සහ ගුවන් හමුදාව යොදවා සියලු සංචාරකයන්ට ආරක්ෂාව සනාථ කරන බවද පොලිස් නියෝජිතයා පැවසීය.