188 views 0 secs 0 comments

රාජ්‍ය සේවකයින් සම්බන්ධ චක්‍රලේඛය දීර්ඝ කරයි…

In Local News
June 26, 2022

රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීය යුතුය.

හැකි සෑම විටම නිලධාරීන්ට නිවසේ රැඳී සිටිමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

ජනතාව සමග සෘජුවම ගනුදෙනු කරන ආයතන වෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම අදාළ අමාත්‍යාංශ ලේකම් හෝ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය ඇතිව සිදු කිරීමට ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතුය.

මෙම කාලය තුළ ඉන්ධන උපරිමයෙන් පිරිමසා ගත හැකි ආකාරයට නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කළ යුතු අතර සියලු රැස්වීම් සහ සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.