143 views 0 secs 0 comments

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට අරඹනවා – ජනපති පවසයි

In Local News
August 02, 2024

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි. “දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.
මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.