කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ඊයේ (19) සිට ප්‍රතිකාර කටයුතු සඳහා ක්‍රියාත්මක කෙරිණි. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී.
රුපියල් මිලියන 154ක වියදමින් සවිකර ඇති මෙම නවීන Gamma Camera උපකරණය සදහා අරමුදල් ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි. මෙය විශේෂයෙන්ම ළමා වයස්කරුවන් අතර වකුගඩු ආශ්‍රිත රෝග විනිශ්චය සඳහා යොදා ගනු ලබයි.
මෙතෙක් රෝහලේ භාවිතයේ සිටි උපකරණය වසර 20කටත් වඩා පැරණි වන අතර, එය නිතර අක්‍රිය වී පරීක්ෂණ කටයුතු සඳහා ජාතික රෝහල වෙත යොමු වීමට සිදුවිය. මෙම අවශ්‍යතාවය පිළිබඳව පසුගිය මාස කිහිපයේදී රෝහල් පරිපාලනය හා වෛද්‍ය කණ්ඩායම විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට දැනුම් දී තිබුණි.
ඒ අනුව, අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ සෘජු සම්බන්ධතාවයෙන් නව Gamma Camera උපකරණය රෝහලේ ස්ථාපිත කිරීම සිදු කෙරිණි. මෙවැනි උපකරණ කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල වැනි රජයේ රෝහල්වලද දැනටමත් ඇත.
නව උපකරණය හරහා වැඩි කාර්යක්ෂමතාවයක් සහ ගුණාත්මක වෛද්‍ය සේවාවක් රෝගීන්ට ලබා දිය හැකි බව විකිරණ විශේෂඥ වෛද්‍ය නයනා සමරසිංහ මහත්මිය පැවසීය. මෙය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ එකමුතු සහයෝගයෙන් ඉදිරියේදී සාර්ථකව ක්‍රියාත්මක කරන බවද ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාද එක්වෙමින් නව රජයට සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ ස්තූතියක් පුද කළේය. දිවයින පුරා ළමුන්ගේ වකුගඩු රෝග සදහා නිවැරදි විනිශ්චයක් ලබා දීමේ වගකීම රෝහල විසින් ඉටු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජික පිරිසක්ද සහභාගී වූහ.