
යෝජිත වතු කම්කරු වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය අයවැයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැටුප් වැඩි කිරීම් සමගාමීව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.
ජනාධිපතිවරයා අවධාරණය කළේ වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සුදුසු වැටුපක් ලබාදීමේ අවශ්‍යතාවය හා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ වැදගත්කමය පිළිබඳවයි. ඒ අනුව, වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වතු සමාගම් නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
එසේම, වතු කර්මාන්තකරුවන්ට මුහුණ දෙමින් පවතින අභියෝග පිළිබඳවද සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ රජයේ ප්‍රතිපත්තිය වතු කර්මාන්තය නැවත ශක්තිමත් කර ගැනීම බවත්, එම අරමුණ ඉටු කිරීම සඳහා රජයේ උපරිම සහය ලබා දීමට බලාපොරොත්තු වන බවත්ය.
සාකච්ඡාවෙන් අනතුරුව, සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයාට ස්තූති දක්වමින් ක්ෂේත්‍රයේ තවදුරටත් දියුණුව සඳහා තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
මෙම සාකච්ඡාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ඊට අමතරව, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය, ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය, සහ Agarapatana, Kotagala, Kelani Valley, Malwatte Valley, Balangoda, Browns, Kahawatte, Kegalle, Agalawatta Plantation PLC ආදී සමාගම් නියෝජනය කළ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.