1 views 0 secs 0 comments

ජපානයේ පලමු කාන්තා අගමැතිවරිය සනායි තකයිචි පත් කෙරේ…

In World News
October 21, 2025

ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රසිද්ධ සනායි තකයිචි අද (21) දිනයේදී තේරීපත් විය.

ජපාන පාර්ලිමේන්තුවේ පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය අගමැති ධුරය සඳහා තේරීපත් වුයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගැනීමෙන් පසුය.

වයස අවුරුදු 64ක තකයිචි මීට සති දෙකකට පෙර පාලක පක්ෂයේ නායකත්වය දිනාගෙන සිටින අතර, හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීමට ඇය තෝරාගනු ලැබීය.

කෙසේ වෙතත්, ඇය තේරීපත් වූ පසු පාලක පක්ෂයට සහය දුන් කොමෙයිතෝ පක්ෂය තම සහය ඉවත් කරගත් අතර, එයට පිළියමක් ලෙස තකයිචි ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධානයක් ස්ථාපිත කරමින් තම බලය තහවුරු කරගත්තේය.

ඇය අගමැති ලෙස මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග ලෙස මන්දගාමී ජපාන ආර්ථිකය යළි ගොඩනැගීම, ජපාන–අමෙරිකා සබඳතා ශක්තිමත් කිරීම, සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙනයාම සඳහන් වේ.

1961දී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි, 1996දී පළමුවරට පාර්ලිමේන්තුවට පත් වූ අතර, මේ වනවිට අවස්ථා 10ක් තිස්සේ තම අසුන රැකගැනීමට සමත් වී ඇත.

ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙකු ලෙසද ප්‍රසිද්ධ වූවාය.