
දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන “අස්වනු නෙළීමේ උත්සවය” හෙවත් තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එහි මෙසේ සඳහන් කර ඇත.
ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එසේම අස්වනු නෙළීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන දෙමළ ජනයාගේ මුල් පෙළේ ආගමික සංස්කෘතික උළෙලකි. එය ස්වභාවධර්මය හා බැඳුණු, කෘෂිකර්මය මත පදනම් වූ පාරම්පරික ජීවන රටාව සහ භෝග වගා සරු කිරීමට උපකාරී වූ සූර්යයාට කෘතඥතාව පුද කිරීම සනිටුහන් කරයි. හින්දු ධර්මානුකූලව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස ද සලකති. එකී සොම්නස භුක්ති විඳින අපේ සහෝදර දෙමළ ජනතාව සමග මම ද සතුටු සිතින් එක් වෙමි. ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වූ නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිර වීමෙන් තමන්ටත්, තම පවුලටත්, රටට සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. අප රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි අඩංගු වන්නේ ඊට මග පාදන ක්‍රියාදාමයයි. මානව සමාජයේ බුහුමනට පාත්‍රව ඇත්තාවූත් යහගුණ සලකුණු කරන්නාවූත් තෛපොංගල් උළෙලට එක්වන ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට මගේ සුබාශිංසන පිරිනමමි.