108 views 1 sec 0 comments

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය ලෙස නදීකා වටලියද්ද පත් කෙරේ…

In Local News
March 24, 2025

අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද වැඩභාර ගත් අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව වේ.

ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් ද වේ. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශ්‍රම අධ්‍යයනය පිළිබඳව ද, ඕස්ට්‍රේලියාවේ Flinders විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳව ද, එක්සත් රාජධානියේ South Wales විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ද පශ්චාත් උපාධි ද ඇය හිමි කරගෙන තිබේ.

2001 වර්ෂයේදී කම්කරු නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති නදීකා වටලියද්ද, 2003 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වුණි.

ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙසත්, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙසත්, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස මෙන්ම, රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු වල සේවයේ යෙදී තිබේ.